Monday, December 14, 2015

නුඹයි අපේ අනාගතය....

ආයුබෝවන්ඩල හැමෝටම.....

මේ ලිපිය ලියන්න කියල හිතුනෙ අපේ කට්ටියක් එකතුවෙලා ඊයෙ පෙරේද කරන්නට යෙදුනු සමාජ සත්කාරයක් ගැන දැනුම් දෙන්නයි. (ඔවු.. ඔවු... අර මගේ නිවුන් සහෝදරය කියන එකා මේක ලියන්නෙ නෑ කියල හැමවෙලාවෙම දාන නෝන්ඩියට ඇරියස් එකකටත් එක්ක තමයි. හැක්...)

අපේ කුරුටු ගෑ ගී පවුර ලියන තුෂාර සහෝදරය තමයි මේකට මුල පුරන්නෙ. ගෙදර කැටේක එකතුවෙච්ච සල්ලි වලින් (ඔවු.. ඔවු.. වෙන මොනවත් නෙමෙයි සල්ලි :D) ආර්ථික අපහසුතා ඇති දරුවෙකුට අවශ්‍ය පොත්පත් අරන් දෙන්න ලෑස්ති වෙන එක තමයි මේකෙ ආරම්භය.

ඒ අතරෙ උන්දැගෙ බ්ලොගේට නෙලුම් යායෙ අජිත් අයියගෙන් හම්බවෙච්ච සම්මානෙ මුදලුත් මේ වැඩේට සම්බන්ධ කරල පොත් පාර්සල් හතරක් පහක් දක්වා මේ වැඩේ ඇදගෙන යන්න තුෂාරට හැකිවෙලා තියෙනව.

ඔය අතරෙ අපේ මාර්ෂල් විදානේ තුමාගේ ආගමනයත් ඔතැනට සිද්ද වෙනව. එයැයිත් මේ වැඩේට සම්බන්ධ වෙන්න කැමතියි කිවුවට පස්සෙ තමයි මේක තුෂාරයගෙ ගෙදරින් එළියට එන්නෙ.
ඉන් පස්සෙ අපේ මදු මදාවියා තුමා සබරෙ ඇනෝ තුමා අජිත් අයිය ඇතුළු තවත් කීප දෙනෙක් අතරෙ හුවමාරු වෙච්ච ඊ තැපැල් ලිපි කීපයකට පස්සෙ මේ වැඩේ පොත් මළු 42 ක් දක්වා වර්ධනය කරගන්නට හැකි උනා.

ඊට පස්සෙ වැඩේ තිබුණෙ මේවා ලබා දීමට අවශ්‍ය දරුවන් සිටින පාසලක් සොයා ගැනීම. කුරුට්ටො ටික එකතු වෙලා මේ වැඩේට බලංගොඩ ඉඹුල්පෙ ශාරිපුත්‍ර විද්‍යාලයේ විදුහල්පතිතුමා එක්ක කතා කරල දරුවන් තෝරගෙන තිබුණ.

ඒ අතරෙ තුෂාර සහෝ විදානේ සමග එකතුවෙලා පොත්පත් සහ අදාල භාණ්ඩ වට්ටමක් සහිතව ලබාගන්න පුලුවන් තැන් හොයල බලල ඒ බඩු ලබාගෙන තිබුණ වගේම වැඩේ සිද්ධ වෙන්න දෙසැම්බර් මාසෙ 13 වැනිද සුදුසුයි කියලත් සම්මත කරගෙන තිබුණ.

 ඒ අතරෙ කුරුටු අසංක මේ වගේ පණිවිඩයක් ඒ පොත් එක්ක බෙදාදෙන්නත් සූදානම් කරල තිබුණ.

-----------------------------------------------------------------------------------
ආදරණීය දුවේ / පුතේ... මේ පණිවිඩය ඔබටයි...ආදරණීය දුවේ / පුතේ... ජීවිතය කියන්නේ අපි හැමෝටම අභියෝගයක්... ඉතිං අපි ඒ අභියෝගය දිනන්නේ කොහොමද... ඒකට හරියටම තියෙන්නේ එකම එක මගයි... ඒ තමයි දුවේ පුතේ ඉගෙනීම... ඔබ හොඳින් ඉගෙනගෙන හැමෝටම වැඩදායී කෙනෙක් වුණොත්... ඔබගේ ආදරණීය දෙමව්පියන්, ගුරු මව්වරුන් පියවරුන් වගේම මුළු රටම ඔබ ගැන ආඩම්බර වෙයි... ඔබ අපේ රටට විතරක් නෙවෙයි මුළු ලෝකයටම අත්‍යවශ්‍ය වන ප්‍රධාන පුද්ගලයෙක් වෙයි... ඉතිං එහෙම වෙන්න තියන මූලික අඩිතාලම තමයි අර කලින් පැවසූ ආකාරයට හැකි උපරිම හොඳින් ඔබේ ඉගෙනුම සම්පූර්ණ කිරීම...

ඉතිං ආදරණීය දුවේ / පුතේ... ඔබේ ඉගෙනුම සම්පූර්ණ කරගැනීමට යන ගමනේ පුංචි අත්වැලක් වෙන්න අපි ගත්ත උත්සාහයක ප්‍රතිථලය තමයි මේ... මේ ඔබේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් අපි හැමෝම එකතු වෙලා දෙන පුංචි තෑග්ගක්... අළුත් අවුරුද්දේ පාසල් ගමන ආරම්භ කරන්න ඉන්න මේ දුවල පුතාලට ඉතාමත් සෙනෙහසින් තමයි අපි මේව දෙන්නේ... ඒත් එක්කම අපි බලාපොරොත්තු වෙනව මේ පුංචි තිළිණ ටික සතුටින් භාර අරන් ඔබ තව තවත් හොඳින් ඉගෙනීමේ කටයුතු වලට යොමු වෙයි කියලත්...

අපි හැමදාමත් රටේ අනාගතය භාරගන්න ඉන්න ඔබේ සහයෝගයට ඉන්නවා ආදරණීය දුවේ / පුතේ...

 
-----------------------------------------------------------------------------------

ඉතිං කොහොම හරි අදාල දිනේට මේ වැඩේ ඉතා සාර්ථකව සිද්ධ උනා. නමුත් නොවැලැක්විය හැකි හේතුවක් නිසා මට මේ වැඩේට සම්බන්ධ වෙන්නනං අවස්ථාවක් ලැබුණෙ නෑ. ඒ ගැන කණගාටුවක් නැතුව නෙමෙයි. ඒත් පින්තූරෙකින් හරි පොත් ලැබිච්ච දරුවන්ගෙ සිනාව දකිනකොට කරපු වැඩේ ගැන සතුටක් ඇතිවෙන එක වලක්වන්න බෑ.

තුෂාර මලයගෙ එක පොත් මල්ලක වැඩේ පොත් මළු 42 ක් දක්වා වැඩි කරන්න දායක උන විදානෙ මලයා ඇතුළු සෙට් එකටම මේ අවස්ථාවෙ මගේ කෘතඥතාවය ප්‍රකාශ කරනව. ඒ වගේම ඉදිරියෙදිත් මේ විදියට යමක් එකතුවෙලා කරන්න හැකියාව ලැබේවා කියලත් ප්‍රාර්ථනා කරනව.

ඒ අවස්ථාවෙ ගත්ත ඡායාරූප කීපයක් පහතින් පලකරනව. (ඡායාරූප අනුග්‍රහය කුරුටු)









ප.ලි. : මේ වැඩේ බ්ලොග් වලින් විවෘතව සහයෝගය අරන් කරන්න හිටියත් එවන් කටයුත්තක් සම්බන්ධීකරණය කිරීමේදී වැඩි වගකීමක් දැරීමට අවශ්‍ය බැවින් ප්‍රථම අවස්ථාවේම එවන් දෙයකට යාමට අසීරු නිසා එම අදහස අතහැර දමන්නට සිදුවුනා.

Thursday, April 9, 2015

වසන්තයට මගේ කොටහ...


ඔන්න ඉතිං කාලෙකට පස්සෙ බ්ලොග් වසන්තයක් කියල එකක් ඇවිල්ල තියෙනවනේ හිටං. ඉතිං ඔය රාජ්, දුමී වගෙ කට්ටියක් ඉල්ලල තිබ්බ මේ ලටපටෙත් මළකඩ කඩල මොනව හරි ලියල දාපං කියල. මාත් නිකං ඉන්න එකේ වයර් බ්‍රෂ් එහෙම හොයාගෙන අත හොල්ලන්න හිතුව. (හරි හරි වෙන ඒවත් හො‍ලෝනව තමයි අවශ්‍ය වෙලාවට)

ඇත්තටම මොකා පටං ගත්තත් මේ වසන්ත වැඩේ හින්ද මෙච්චර කාලයක් හැංගිලා හිටපු බ්ලොග් කාරයො ටිකකුයි, බුකියෙ පදිංචි වෙලා හිටපු බ්ලොග් කාරයො ටිකකුයි අලුතෙන් පෝස්ට් දාල තිබුණ. උං ලියල තියෙන ඒව කියෝනකොට අපරාදෙ මුං ලියන්නෙ නැතුව ඉන්නෙ කියල හිතෙනව. ඒත් ඉතිං අපි මොනව කරන්නද. හැබැයි මේ දවස්වල කට්ටිය ලියන ලියවිල්ලට කියවල කොමෙන්ට් කරන අපි වගේ අය තමයි අනාත වෙන්නෙ.

ඒ වගේම අර රයිටර් පැතුම, පත්තිරු ගැමිය, ගමන් මගේ මගිය වගේ තව සෙට් එකක් ඉන්නව කැලේ පැනල. උං ටිකත් ලියන්න පටං ගත්තනං හරි කියල හිතෙනව. එතකොට දැන් අලුතෙන් ගේමට බැහැල ලස්සනට කතා ලියන සෙට් එකකුත් ඇවිල්ල ඉන්න එක සිංහල බ්ලොග් ලෝකෙ අනාගතේට සෑහෙන්න වටිනව. ඉතිං මේ වසන්තෙ දිගටම පවතීවා කියල හිතන එක සිංහල බ්ලොග් කලාවට ආස කාගෙ උනත් ප්‍රාර්ථනාව වෙනව ඇති.

එතකොට මේ මාසෙ 19 වෙනිද සයිබර් බක්මහ උළෙලත් පවත්තන්න කට්ටිය ලෑස්ති වෙලා ඉන්නවනෙ. ඔය අලුතෙන් ලියන්න පට්ට‍ාං ගත්ත අයයි, පරණ අයයි දෙගොල්ලන්ටම එතනදි සෙට් වෙන්න බැරියැ. මටනං එන්න වෙයිද කියල ශුවර් එකක් නෑ. උපරිම ට්‍රයි එකක් දෙනව.

ඉතිං එහෙනං ලබන්නා වූ අලුත් අවුරුද්ද මේ කෙහෙල්මල කියෝන හැමෝටමත්, සිංහල බ්ලොග් ලියන හැමෝටමත් ප්‍රීතිමත්, නිරෝගිමත් සුබ අලුත් අවුරුද්දක් වේවා කියල පතල නවතින්නං.




ප.ලි.
(ගල් බලකායේ පින්වතුන්ගේ අවධානය පිණිසයි)

මේ මස 12, 13, 14 යන තෙදින ගල් බලකායේ ශාඛා කාර්යාල සියල්ල වසා තැබීමට තීරණය කර ඇති බැවින් බඩු අවශ්‍ය අය කලින්ම රැගෙන ගොස් ගඩබා කරගන්නා ලෙස දන්වා සිටිනව.