Wednesday, May 4, 2016

නෙළුම් පිපුණා මැයි මහේ...

අපේ පැත්තෙ ඉන්න බ්ලොග් ගල් ටික එකතුවෙලා කරපු පිං අතේ වැඩක් ගැන මම මීට කලින් මෙතන කියල තියෙනව. ඉතින් මේ වැ‍ඩේ කරල ටික කාලයක් ගතඋනාට පස්සෙ නෙළුම් යායෙන් අපිට යෝජනාවක් ඉදිරිපත් කළා තවත් මේ වගේ වැඩක් කරනවනං උදව් දෙන්න කැමතිය කියල.

මේ යෝජනාවෙන් පස්සෙ අපේ විදානේ මහතා පෞද්ගලිකව පාසල් කීපයකට ගිහිල්ල කරන ලද හොයාබැලීම් වලින් පස්සෙ යෝජනා කරන ලද අවශ්‍යතා වලින් ර/බළ/වැලි උඩරංවල විද්‍යාලයට අවශ්‍ය ඡායා පිටපත් යන්ත්‍රයක් ලබාදීමේ කාර්යයට මැදිහත්වෙන්න කට්ටිය තීරණය කළා.



මෙම විදුහලට ඡායාපිටපත් අවශ්‍යතාවයක් ඉටුකර ගැනීමට වුවහොත් පයින්වත් යා නොහැකි අති දුෂ්කර මාර්ගයක  කිලෝ මීටර් හයක් පමණ දුර ගෙවා උඩවෙල නගරයට යාමට සිදුවෙනවා. මෙම දුෂ්කරතාවය නිසා මෙම පාසල මගින් රුපියල් පහක් වටිනා කොටු කපන කාඩ් පතක් සියලු සිසුන් වෙත ලබාදී තිබුණත් පාසලේ ළමුන් පැතිරී ඇති වපසරිය කුඩා නිසා එය සාර්ථක වී තිබුණේ නැහැ.


මේ සිද්ධිය දැනගත්ත අපේ සබරෙ ඇනෝ තමන් වැඩකරන ආයතනය තුල පරිහරණය කරන ලද‍‍, සුළු අලුත්වැඩියාවකින් පසු නැවත භාවිතයට ගත හැකි ඡායාපිටපත් යන්ත්‍රයක් ලබාදීමට හැකියාව ඇති බව ප්‍රකාශ කළා. එසේම ඒ යන්ත්‍රය සඳහා භාවිතා කරන ටෝනර් තුනකුත් ඒ සමගම ලබාදිය හැකි බව ප්‍රකාශ කළා.

ඉන් පසුව එම යන්ත්‍රය අලුත්වැඩියාව සඳහා යොමු කර ඒ සඳහා යන වියදම නෙ‍ළුම් යාය, සබරෙ ඇනෝ, මධුමාදවී, විදානේ, කුරුටු පවුල සහ මා විසින් දරනු ලැබුවා. එම යන්ත්‍රය අලුත්වැඩියාවෙන් පසු ඉතුරු වූ මුදලින් එම පාසලේ ඉගෙනුම ලබන ළමුන් 252 දෙනෙකුට බෙදා දීම සඳහා අභ්‍යාස පොත් පන්සිය අසූවක් සහ A4 බන්ඩල් එකක් මිලදී ගන්නටත් හැකියාව ලැබුණා.

මේ සියලු උපකරණ සහ පොත් පත් රැගෙන 2015-05-03 වැනි දින මාත්, විදානේ සිය බිරිඳ සහ දරුවාත්, කූගෑගීප තුෂාරත්, සබරේගේ මිතුරියක් වන රූපිකා මිසුත් අති දුෂ්කර ගමනකින් පසු මෙම පාසල වෙත ලඟා උනා.

අප විදුහලට පැමිනීමේදී විඳින්නට සිදුවුනු අපහසුතාවය නිවන්නට විදුහල්පතිනිය විසින් උණුසුම් තේ පැන් සංග්‍රහයක් අප වෙනුවෙන් සූදානම් කොට තිබුණා.


ඉන් අනතුරුව විදුහලේ ප්‍රධාන ශාලාවේ සූදානම් කර තිබූ චාම් උත්සවයකදී මෙම උපකරණ සහ තිළිණ සංකේතාත්මකව එම පාසල වෙත සහ දරුවන් වෙත ප්‍රදානය කරනු ලැබුවා.

මෙම අවස්ථාවේ අදහස් දැක්වූ විදුහල්පති තුමිය‍‍, නියෝජ්‍ය විදුහල්පතිතුමා නෙළුම් යාය මගින් මේ කරන ලද ක්‍රියාව අගය කළේ තමන් ඡායා පිටපතක් සඳහා මෙතෙක් කාලයක් විඳින ලද දුෂ්කරතාවය නිම කිරීම ගැන සතුටු සිතින්. එසේම විවිධ ආයතන වල තිබෙන මිතුරු සංගම්, තමන්ට 'ආතල් එකක්' ගැනීමට පමණක් එක්වන මොහොතක මෙවන් සමාජ සත්කාරයක් සඳහා එකතු උණු නෙළුම් යාය සැබැවින්ම මඩෙන් උඩට මතුවූ නෙ‍ළුමක් බව ඔවුන් ප්‍රකාශ කළා.

එසේම එම අවස්ථාවේ එම පාසලේ ප්‍රධාන ශිෂ්‍යනායක දරුවා දැක්වූ අදහස් වලින්, මිතුරුකමේ එකමුතුවෙන් මහා දෙයක් කළහැකි බව ඒ පාසලේ දරුවන් ටික දෙනෙකු හෝ වටහාගෙන ඇති බව තහවුරු උනා. එසේම නෙ‍ළුම් යාය බ්ලොග් මිතුරෝ වැනි වචන ඔවුන් කිසිම පැකිලීමකින් තොරව උච්චාරණය කළ ආකාරය අැසීමෙන් ඉදිරියේ යම් ප්‍රවණතාවයක් ඇතිවීමේ සුබ ලකුණු මතුවෙන බව පෙනුනා.


විදුහලේ නිවේදිකාව







පොල්තෙල් පහන දල්වමින්

විදුහල්පතිනිය පිළිගැනීමේ කතාව කරමින්

ප්‍රධාන ශිෂ්‍යනායකතුමා

නියෝජ්‍ය විදුහල්පතිතුමා

යන්ත්‍රය පාසල වෙත භාර දීම

පාසලෙන් ලැබුණු තිලිණය පිළිගන්නා විදානේ තුමා

විදානේ මහතාගේ හරවත් දේශණය අතරතුර...



පාසලේ ළමුත් වෙත සංකේතාත්මක පොත් ප්‍රදානය

පාසල විසින් අපගේ මෙම ක්‍රියාව අගය කරමින් මෙවන් පද පෙළකින් ඔවුන්ගේ තුතිය ලබා දුන්නා.

මෙම කර්තව්‍යයන් අවසානයේ සතුටු සිතින් අප නැවත ගම් බිම් කර‍ා පැමිණියා.

මෙම කාර්යය සාර්ථක කරගන්නට මුල්වූ සහ උදව් උපකාර කළ සෑම දෙනාටමත්, සෑම ආයතනයකටමත් මගේ ස්තුතිය මේ අවස්ථාවේ පුදකරන්න කැමතියි. එසේම නැවත නැවතත් දැයේ දුවා දරුවන්ගේ සිත් තුල මල් පුබුදන්නට ඔවුන්ට හැකියාව ‍ලැබේවා කියා පතනවා.



ප.ලි. ඔබටත් මෙවන් වැඩකට දායක වීම සඳහා අවස්ථාවක් විදානේගේ ** දානයේ අවසානයේ සඳහන් කරල තියෙනවා. පුලුවන්නං එතෙන්ට ගිහින් එය කියවා බලල කරන්න පුලුවන් දෙයක් කරනු ඇතැයි බලාපොරොත්තු වෙනව.

මේ සම්බන්ධ කුරුටු ගේ ලිපිය.....

Monday, December 14, 2015

නුඹයි අපේ අනාගතය....

ආයුබෝවන්ඩල හැමෝටම.....

මේ ලිපිය ලියන්න කියල හිතුනෙ අපේ කට්ටියක් එකතුවෙලා ඊයෙ පෙරේද කරන්නට යෙදුනු සමාජ සත්කාරයක් ගැන දැනුම් දෙන්නයි. (ඔවු.. ඔවු... අර මගේ නිවුන් සහෝදරය කියන එකා මේක ලියන්නෙ නෑ කියල හැමවෙලාවෙම දාන නෝන්ඩියට ඇරියස් එකකටත් එක්ක තමයි. හැක්...)

අපේ කුරුටු ගෑ ගී පවුර ලියන තුෂාර සහෝදරය තමයි මේකට මුල පුරන්නෙ. ගෙදර කැටේක එකතුවෙච්ච සල්ලි වලින් (ඔවු.. ඔවු.. වෙන මොනවත් නෙමෙයි සල්ලි :D) ආර්ථික අපහසුතා ඇති දරුවෙකුට අවශ්‍ය පොත්පත් අරන් දෙන්න ලෑස්ති වෙන එක තමයි මේකෙ ආරම්භය.

ඒ අතරෙ උන්දැගෙ බ්ලොගේට නෙලුම් යායෙ අජිත් අයියගෙන් හම්බවෙච්ච සම්මානෙ මුදලුත් මේ වැඩේට සම්බන්ධ කරල පොත් පාර්සල් හතරක් පහක් දක්වා මේ වැඩේ ඇදගෙන යන්න තුෂාරට හැකිවෙලා තියෙනව.

ඔය අතරෙ අපේ මාර්ෂල් විදානේ තුමාගේ ආගමනයත් ඔතැනට සිද්ද වෙනව. එයැයිත් මේ වැඩේට සම්බන්ධ වෙන්න කැමතියි කිවුවට පස්සෙ තමයි මේක තුෂාරයගෙ ගෙදරින් එළියට එන්නෙ.
ඉන් පස්සෙ අපේ මදු මදාවියා තුමා සබරෙ ඇනෝ තුමා අජිත් අයිය ඇතුළු තවත් කීප දෙනෙක් අතරෙ හුවමාරු වෙච්ච ඊ තැපැල් ලිපි කීපයකට පස්සෙ මේ වැඩේ පොත් මළු 42 ක් දක්වා වර්ධනය කරගන්නට හැකි උනා.

ඊට පස්සෙ වැඩේ තිබුණෙ මේවා ලබා දීමට අවශ්‍ය දරුවන් සිටින පාසලක් සොයා ගැනීම. කුරුට්ටො ටික එකතු වෙලා මේ වැඩේට බලංගොඩ ඉඹුල්පෙ ශාරිපුත්‍ර විද්‍යාලයේ විදුහල්පතිතුමා එක්ක කතා කරල දරුවන් තෝරගෙන තිබුණ.

ඒ අතරෙ තුෂාර සහෝ විදානේ සමග එකතුවෙලා පොත්පත් සහ අදාල භාණ්ඩ වට්ටමක් සහිතව ලබාගන්න පුලුවන් තැන් හොයල බලල ඒ බඩු ලබාගෙන තිබුණ වගේම වැඩේ සිද්ධ වෙන්න දෙසැම්බර් මාසෙ 13 වැනිද සුදුසුයි කියලත් සම්මත කරගෙන තිබුණ.

 ඒ අතරෙ කුරුටු අසංක මේ වගේ පණිවිඩයක් ඒ පොත් එක්ක බෙදාදෙන්නත් සූදානම් කරල තිබුණ.

-----------------------------------------------------------------------------------
ආදරණීය දුවේ / පුතේ... මේ පණිවිඩය ඔබටයි...ආදරණීය දුවේ / පුතේ... ජීවිතය කියන්නේ අපි හැමෝටම අභියෝගයක්... ඉතිං අපි ඒ අභියෝගය දිනන්නේ කොහොමද... ඒකට හරියටම තියෙන්නේ එකම එක මගයි... ඒ තමයි දුවේ පුතේ ඉගෙනීම... ඔබ හොඳින් ඉගෙනගෙන හැමෝටම වැඩදායී කෙනෙක් වුණොත්... ඔබගේ ආදරණීය දෙමව්පියන්, ගුරු මව්වරුන් පියවරුන් වගේම මුළු රටම ඔබ ගැන ආඩම්බර වෙයි... ඔබ අපේ රටට විතරක් නෙවෙයි මුළු ලෝකයටම අත්‍යවශ්‍ය වන ප්‍රධාන පුද්ගලයෙක් වෙයි... ඉතිං එහෙම වෙන්න තියන මූලික අඩිතාලම තමයි අර කලින් පැවසූ ආකාරයට හැකි උපරිම හොඳින් ඔබේ ඉගෙනුම සම්පූර්ණ කිරීම...

ඉතිං ආදරණීය දුවේ / පුතේ... ඔබේ ඉගෙනුම සම්පූර්ණ කරගැනීමට යන ගමනේ පුංචි අත්වැලක් වෙන්න අපි ගත්ත උත්සාහයක ප්‍රතිථලය තමයි මේ... මේ ඔබේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් අපි හැමෝම එකතු වෙලා දෙන පුංචි තෑග්ගක්... අළුත් අවුරුද්දේ පාසල් ගමන ආරම්භ කරන්න ඉන්න මේ දුවල පුතාලට ඉතාමත් සෙනෙහසින් තමයි අපි මේව දෙන්නේ... ඒත් එක්කම අපි බලාපොරොත්තු වෙනව මේ පුංචි තිළිණ ටික සතුටින් භාර අරන් ඔබ තව තවත් හොඳින් ඉගෙනීමේ කටයුතු වලට යොමු වෙයි කියලත්...

අපි හැමදාමත් රටේ අනාගතය භාරගන්න ඉන්න ඔබේ සහයෝගයට ඉන්නවා ආදරණීය දුවේ / පුතේ...

 
-----------------------------------------------------------------------------------

ඉතිං කොහොම හරි අදාල දිනේට මේ වැඩේ ඉතා සාර්ථකව සිද්ධ උනා. නමුත් නොවැලැක්විය හැකි හේතුවක් නිසා මට මේ වැඩේට සම්බන්ධ වෙන්නනං අවස්ථාවක් ලැබුණෙ නෑ. ඒ ගැන කණගාටුවක් නැතුව නෙමෙයි. ඒත් පින්තූරෙකින් හරි පොත් ලැබිච්ච දරුවන්ගෙ සිනාව දකිනකොට කරපු වැඩේ ගැන සතුටක් ඇතිවෙන එක වලක්වන්න බෑ.

තුෂාර මලයගෙ එක පොත් මල්ලක වැඩේ පොත් මළු 42 ක් දක්වා වැඩි කරන්න දායක උන විදානෙ මලයා ඇතුළු සෙට් එකටම මේ අවස්ථාවෙ මගේ කෘතඥතාවය ප්‍රකාශ කරනව. ඒ වගේම ඉදිරියෙදිත් මේ විදියට යමක් එකතුවෙලා කරන්න හැකියාව ලැබේවා කියලත් ප්‍රාර්ථනා කරනව.

ඒ අවස්ථාවෙ ගත්ත ඡායාරූප කීපයක් පහතින් පලකරනව. (ඡායාරූප අනුග්‍රහය කුරුටු)









ප.ලි. : මේ වැඩේ බ්ලොග් වලින් විවෘතව සහයෝගය අරන් කරන්න හිටියත් එවන් කටයුත්තක් සම්බන්ධීකරණය කිරීමේදී වැඩි වගකීමක් දැරීමට අවශ්‍ය බැවින් ප්‍රථම අවස්ථාවේම එවන් දෙයකට යාමට අසීරු නිසා එම අදහස අතහැර දමන්නට සිදුවුනා.

Thursday, April 9, 2015

වසන්තයට මගේ කොටහ...


ඔන්න ඉතිං කාලෙකට පස්සෙ බ්ලොග් වසන්තයක් කියල එකක් ඇවිල්ල තියෙනවනේ හිටං. ඉතිං ඔය රාජ්, දුමී වගෙ කට්ටියක් ඉල්ලල තිබ්බ මේ ලටපටෙත් මළකඩ කඩල මොනව හරි ලියල දාපං කියල. මාත් නිකං ඉන්න එකේ වයර් බ්‍රෂ් එහෙම හොයාගෙන අත හොල්ලන්න හිතුව. (හරි හරි වෙන ඒවත් හො‍ලෝනව තමයි අවශ්‍ය වෙලාවට)

ඇත්තටම මොකා පටං ගත්තත් මේ වසන්ත වැඩේ හින්ද මෙච්චර කාලයක් හැංගිලා හිටපු බ්ලොග් කාරයො ටිකකුයි, බුකියෙ පදිංචි වෙලා හිටපු බ්ලොග් කාරයො ටිකකුයි අලුතෙන් පෝස්ට් දාල තිබුණ. උං ලියල තියෙන ඒව කියෝනකොට අපරාදෙ මුං ලියන්නෙ නැතුව ඉන්නෙ කියල හිතෙනව. ඒත් ඉතිං අපි මොනව කරන්නද. හැබැයි මේ දවස්වල කට්ටිය ලියන ලියවිල්ලට කියවල කොමෙන්ට් කරන අපි වගේ අය තමයි අනාත වෙන්නෙ.

ඒ වගේම අර රයිටර් පැතුම, පත්තිරු ගැමිය, ගමන් මගේ මගිය වගේ තව සෙට් එකක් ඉන්නව කැලේ පැනල. උං ටිකත් ලියන්න පටං ගත්තනං හරි කියල හිතෙනව. එතකොට දැන් අලුතෙන් ගේමට බැහැල ලස්සනට කතා ලියන සෙට් එකකුත් ඇවිල්ල ඉන්න එක සිංහල බ්ලොග් ලෝකෙ අනාගතේට සෑහෙන්න වටිනව. ඉතිං මේ වසන්තෙ දිගටම පවතීවා කියල හිතන එක සිංහල බ්ලොග් කලාවට ආස කාගෙ උනත් ප්‍රාර්ථනාව වෙනව ඇති.

එතකොට මේ මාසෙ 19 වෙනිද සයිබර් බක්මහ උළෙලත් පවත්තන්න කට්ටිය ලෑස්ති වෙලා ඉන්නවනෙ. ඔය අලුතෙන් ලියන්න පට්ට‍ාං ගත්ත අයයි, පරණ අයයි දෙගොල්ලන්ටම එතනදි සෙට් වෙන්න බැරියැ. මටනං එන්න වෙයිද කියල ශුවර් එකක් නෑ. උපරිම ට්‍රයි එකක් දෙනව.

ඉතිං එහෙනං ලබන්නා වූ අලුත් අවුරුද්ද මේ කෙහෙල්මල කියෝන හැමෝටමත්, සිංහල බ්ලොග් ලියන හැමෝටමත් ප්‍රීතිමත්, නිරෝගිමත් සුබ අලුත් අවුරුද්දක් වේවා කියල පතල නවතින්නං.




ප.ලි.
(ගල් බලකායේ පින්වතුන්ගේ අවධානය පිණිසයි)

මේ මස 12, 13, 14 යන තෙදින ගල් බලකායේ ශාඛා කාර්යාල සියල්ල වසා තැබීමට තීරණය කර ඇති බැවින් බඩු අවශ්‍ය අය කලින්ම රැගෙන ගොස් ගඩබා කරගන්නා ලෙස දන්වා සිටිනව.

Thursday, June 13, 2013

දෙකකුත් උනා එහෙනං....


මොනව කරන්නද අවුරුදු දෙකකුත් උනා එහෙනං මගේ බ්ලොග් කට්ටට. මේ අවුරුදු දෙකට මේක ඇදගෙන යන්න සහයෝගය දුන්න අර කලින් පෝස්ට් බරගානට කොමෙන්ට් කරල තියෙන අයවලුන්ට ස්තුති කරන්න ඕන.

තව එකක් තමයි මේ ගමන තිබ්බ සයිබර් අවුරුදු උත්සවේට යන්න මටත් ඇහැක් උනානෙවෙ. ඉතිං ඒකට ගියාට  පස්සෙ මෙච්චර කාලයක් දෑහිං දැකල නැතිව කොම්පීටරයක් හරහා විතරක් දැනගන උන්න බොහො දෙනෙක් දෑහිං දැකගන්නත් කතා කරන්නත් හම්බඋනා.

යූත් සෙන්ටර් එකේ ගේට්ටුව ගාවදිම හම්බවෙච්ච සුමිත් අයිය අඳුරන්නෙ නැතුව වගේ ගියාට පස්සෙ ඇතුලෙදි මාර ෆිට් එකක් ඇතිකරගත්ත.  ඇතුලට ගියාට පස්සෙ ඉතිං බට්ට, සෑම, රජා, මඩිස්සලේ නිශානය, වෙනී අයිය, මාරය, අටම, නලින් අයිය, බනිය, සමිය, සුදු මහත්තය, ඇල්කෙමිය වගේ ‍සෙට් එකක් එක්කම කතාකරන්න හම්බඋනා. ඒ වගේම මම කතා නොකළත් සිහිනය, ඕනය වගේ අය උඹ අහවලා නේද කියල ළඟට ඇවිල්ල කතාකළා.

ගිය වෙලාවෙ ඉඳලම මාරය මාත් එක්ක වචන දහයක් කතා කරහං කියල දීපු චැලේන්ජ් එක කඩන්න වෙනී අයිය ෆුල් ට්‍රයි එකක් දුන්න. ඒ වගේම හැමදාම විස්කි බෝතලයක් ගැන අහන හින්ද අපේ ඇවිද්ද සුදීක අයිය දීපු පාටියත් ආයෙ කියල වැඩක් නෑ.  ඒ වගේම දැනගෙන නොහිටි ගොඩ දෙනෙක් අඳුරගන්නත් ඒ අවස්ථාව ප්‍රයෝජනවත් උනා.

බ්ලොග් එක ගැන කතා කරනවනං ඒක ගැන කතා නොකරන තරමට හොඳයි කියල හිතෙනව නේද පිංවතුනි. ඒක ලියන වේගෙ වැඩියි කියල කීප දෙනෙක්ම අදහස් දක්වල තිබුණ මීට කලින් පෝස්ට් වල. ඒ වගේම අපේ දේශකය ගරු මංත්‍රීතුමා ඒ ගැන පෝස්ට් එකක්ම නෙමෙයි දෙකක්ම දාල තිබුණ. මාරය සහ දේශකය ම‍ගේ බ්ලොග් එකේ පෝස්ට් මගඇරෙනවට බ්ලොග් රජු සහ කොන්ක්‍රීට් බලගය කියල වෙනම ලිංකු දෙකක් හිටං උන්දැලගෙ බ්ලොග් වල දාල තියෙනව මම දැක්ක.

දැං ඉතිං ස්තුති කතාව මදැයි.

ලැබුවාවූ අලුත් අවුරුද්ද කිරියෙන් පැණියෙන්......... වැරදුනා, බ්ලොග් පෝස්ට් වලින් කොහොම වෙතත් කොමෙන්ට් වලින්වත් උතුරණ අවුරුද්දක් වෙන්න කියල කට්ටිය ප්‍රාර්ථනා කරන්න බලන්න.

අලුතෙන් රසවත්ව බ්ලොග් ලියන චන්දන, සහන්, අකම, සරා, හැලපය, වගේ කට්ටිය ඉන්දැද්දි අපි ලියන්නෙ මොකටද? නැද්ද මං අහන්නෙ.

තව ගොඩ දෙනෙක්ගෙ නං මෙතන නෑ. ඒ අය අමනාප නොමවෙයි කියල සිතනවා.




                             කැමති දෙයක් වක්කරගන්න එකයි ඇත්තෙ.

Wednesday, June 13, 2012

අවුරුද්දයි....

            ඔන්න දැනට අවුරුද්දකට උඩදි ප්‍රසන්න කියන මම බ්ලොග් එකක් පටං අරගෙන ඒකෙ පෝස්ට් එකක් දැම්ම. ඒකට විච්ච දේ මේකට ගොඩවිච්ච හැමෝම දකින්න ඇතිනෙ.
හැබැයි ඉතිං කට්ටියගෙ පිහිටෙං වැඩේ නැගල ගියා.

වචන පහට ෆලෝවර්ස්ල 51
                  පේජ් විව්ස් 1847
                  කොමෙන්ට්ස් 219 (මගේ ඒවත් එක්ක)

බැන බැන හරි මේක බලන්න ආපු, කොමෙන්ට් දාපු, ෆලෝ කරපු

ඒ සියලුදෙනාටම ස්තුතියි !






ඒව මේව කියන්න ඕන නැහැනෙ. ඔන්න කේක් එකේ ඉතුරු කෑල්ලත්.



ප.ලි. මේ පෝස්ට් එක මාරයා නොදකිත්වා !

ප.ප.ලි. වෙන වෙනම ස්තුති කරන්න ගිහිල්ල කට්ටිය තරහ කරගන්න ඕන නැහැනෙ. මොකද ලෝකෙ රටවල් බර ගානකිං මේකට කොමෙන්ට් වැටිල තියෙනවනෙ. :D

Monday, June 13, 2011

ඔන්න පටන්ගත්ත.

පුලුවන්නං දැන් ඉතිං කරගෙන පලයංකො.