Wednesday, May 4, 2016

නෙළුම් පිපුණා මැයි මහේ...

අපේ පැත්තෙ ඉන්න බ්ලොග් ගල් ටික එකතුවෙලා කරපු පිං අතේ වැඩක් ගැන මම මීට කලින් මෙතන කියල තියෙනව. ඉතින් මේ වැ‍ඩේ කරල ටික කාලයක් ගතඋනාට පස්සෙ නෙළුම් යායෙන් අපිට යෝජනාවක් ඉදිරිපත් කළා තවත් මේ වගේ වැඩක් කරනවනං උදව් දෙන්න කැමතිය කියල.

මේ යෝජනාවෙන් පස්සෙ අපේ විදානේ මහතා පෞද්ගලිකව පාසල් කීපයකට ගිහිල්ල කරන ලද හොයාබැලීම් වලින් පස්සෙ යෝජනා කරන ලද අවශ්‍යතා වලින් ර/බළ/වැලි උඩරංවල විද්‍යාලයට අවශ්‍ය ඡායා පිටපත් යන්ත්‍රයක් ලබාදීමේ කාර්යයට මැදිහත්වෙන්න කට්ටිය තීරණය කළා.



මෙම විදුහලට ඡායාපිටපත් අවශ්‍යතාවයක් ඉටුකර ගැනීමට වුවහොත් පයින්වත් යා නොහැකි අති දුෂ්කර මාර්ගයක  කිලෝ මීටර් හයක් පමණ දුර ගෙවා උඩවෙල නගරයට යාමට සිදුවෙනවා. මෙම දුෂ්කරතාවය නිසා මෙම පාසල මගින් රුපියල් පහක් වටිනා කොටු කපන කාඩ් පතක් සියලු සිසුන් වෙත ලබාදී තිබුණත් පාසලේ ළමුන් පැතිරී ඇති වපසරිය කුඩා නිසා එය සාර්ථක වී තිබුණේ නැහැ.


මේ සිද්ධිය දැනගත්ත අපේ සබරෙ ඇනෝ තමන් වැඩකරන ආයතනය තුල පරිහරණය කරන ලද‍‍, සුළු අලුත්වැඩියාවකින් පසු නැවත භාවිතයට ගත හැකි ඡායාපිටපත් යන්ත්‍රයක් ලබාදීමට හැකියාව ඇති බව ප්‍රකාශ කළා. එසේම ඒ යන්ත්‍රය සඳහා භාවිතා කරන ටෝනර් තුනකුත් ඒ සමගම ලබාදිය හැකි බව ප්‍රකාශ කළා.

ඉන් පසුව එම යන්ත්‍රය අලුත්වැඩියාව සඳහා යොමු කර ඒ සඳහා යන වියදම නෙ‍ළුම් යාය, සබරෙ ඇනෝ, මධුමාදවී, විදානේ, කුරුටු පවුල සහ මා විසින් දරනු ලැබුවා. එම යන්ත්‍රය අලුත්වැඩියාවෙන් පසු ඉතුරු වූ මුදලින් එම පාසලේ ඉගෙනුම ලබන ළමුන් 252 දෙනෙකුට බෙදා දීම සඳහා අභ්‍යාස පොත් පන්සිය අසූවක් සහ A4 බන්ඩල් එකක් මිලදී ගන්නටත් හැකියාව ලැබුණා.

මේ සියලු උපකරණ සහ පොත් පත් රැගෙන 2015-05-03 වැනි දින මාත්, විදානේ සිය බිරිඳ සහ දරුවාත්, කූගෑගීප තුෂාරත්, සබරේගේ මිතුරියක් වන රූපිකා මිසුත් අති දුෂ්කර ගමනකින් පසු මෙම පාසල වෙත ලඟා උනා.

අප විදුහලට පැමිනීමේදී විඳින්නට සිදුවුනු අපහසුතාවය නිවන්නට විදුහල්පතිනිය විසින් උණුසුම් තේ පැන් සංග්‍රහයක් අප වෙනුවෙන් සූදානම් කොට තිබුණා.


ඉන් අනතුරුව විදුහලේ ප්‍රධාන ශාලාවේ සූදානම් කර තිබූ චාම් උත්සවයකදී මෙම උපකරණ සහ තිළිණ සංකේතාත්මකව එම පාසල වෙත සහ දරුවන් වෙත ප්‍රදානය කරනු ලැබුවා.

මෙම අවස්ථාවේ අදහස් දැක්වූ විදුහල්පති තුමිය‍‍, නියෝජ්‍ය විදුහල්පතිතුමා නෙළුම් යාය මගින් මේ කරන ලද ක්‍රියාව අගය කළේ තමන් ඡායා පිටපතක් සඳහා මෙතෙක් කාලයක් විඳින ලද දුෂ්කරතාවය නිම කිරීම ගැන සතුටු සිතින්. එසේම විවිධ ආයතන වල තිබෙන මිතුරු සංගම්, තමන්ට 'ආතල් එකක්' ගැනීමට පමණක් එක්වන මොහොතක මෙවන් සමාජ සත්කාරයක් සඳහා එකතු උණු නෙළුම් යාය සැබැවින්ම මඩෙන් උඩට මතුවූ නෙ‍ළුමක් බව ඔවුන් ප්‍රකාශ කළා.

එසේම එම අවස්ථාවේ එම පාසලේ ප්‍රධාන ශිෂ්‍යනායක දරුවා දැක්වූ අදහස් වලින්, මිතුරුකමේ එකමුතුවෙන් මහා දෙයක් කළහැකි බව ඒ පාසලේ දරුවන් ටික දෙනෙකු හෝ වටහාගෙන ඇති බව තහවුරු උනා. එසේම නෙ‍ළුම් යාය බ්ලොග් මිතුරෝ වැනි වචන ඔවුන් කිසිම පැකිලීමකින් තොරව උච්චාරණය කළ ආකාරය අැසීමෙන් ඉදිරියේ යම් ප්‍රවණතාවයක් ඇතිවීමේ සුබ ලකුණු මතුවෙන බව පෙනුනා.


විදුහලේ නිවේදිකාව







පොල්තෙල් පහන දල්වමින්

විදුහල්පතිනිය පිළිගැනීමේ කතාව කරමින්

ප්‍රධාන ශිෂ්‍යනායකතුමා

නියෝජ්‍ය විදුහල්පතිතුමා

යන්ත්‍රය පාසල වෙත භාර දීම

පාසලෙන් ලැබුණු තිලිණය පිළිගන්නා විදානේ තුමා

විදානේ මහතාගේ හරවත් දේශණය අතරතුර...



පාසලේ ළමුත් වෙත සංකේතාත්මක පොත් ප්‍රදානය

පාසල විසින් අපගේ මෙම ක්‍රියාව අගය කරමින් මෙවන් පද පෙළකින් ඔවුන්ගේ තුතිය ලබා දුන්නා.

මෙම කර්තව්‍යයන් අවසානයේ සතුටු සිතින් අප නැවත ගම් බිම් කර‍ා පැමිණියා.

මෙම කාර්යය සාර්ථක කරගන්නට මුල්වූ සහ උදව් උපකාර කළ සෑම දෙනාටමත්, සෑම ආයතනයකටමත් මගේ ස්තුතිය මේ අවස්ථාවේ පුදකරන්න කැමතියි. එසේම නැවත නැවතත් දැයේ දුවා දරුවන්ගේ සිත් තුල මල් පුබුදන්නට ඔවුන්ට හැකියාව ‍ලැබේවා කියා පතනවා.



ප.ලි. ඔබටත් මෙවන් වැඩකට දායක වීම සඳහා අවස්ථාවක් විදානේගේ ** දානයේ අවසානයේ සඳහන් කරල තියෙනවා. පුලුවන්නං එතෙන්ට ගිහින් එය කියවා බලල කරන්න පුලුවන් දෙයක් කරනු ඇතැයි බලාපොරොත්තු වෙනව.

මේ සම්බන්ධ කුරුටු ගේ ලිපිය.....